විදාතා මධ්‍යස්ථානය

විදාතා මධ්‍යස්ථානය
පෙරේරා පාර කනුවන

Tuesday, May 30, 2017

පලතුරු කන ඔබ දිනුම්

බාල, මහලු කොයි කවුරුත් පලතුරුවලට කැමැති ය. බොහෝ දෙනෙක් පලතුරු ආහාරයට ගත්තත්, එහි ගුණ පිළිබඳ සහ ආහාරය‍ට ගත යුතු ප්‍රමාණය පිළිබඳ දන්නේ නැත .
බොහෝ පලතුරුවල විටමින් හා ඛණිජ ලවණ බොහෝ ප්‍රමාණයක් අන්තර්ගතව ඇත. ඒ අතර පලතුරු බොහෝමයක විටමින් සී, පොටෑසියම්, ‍‍‍ෆොලේට් නමැති පෝෂණ සංඝටක අඩංගුව තිබේ. මේ සංඝටක මඟින් සිරුරට අවශ්‍ය පෝෂණ සංඝටක ස්වභාවිකවම ලබා ගැනීමට ද පුළුවන. පලතුරු බොහෝ ප්‍රමාණයක පවතින තන්තුමය ස්වභාවය හේතුවෙන්, කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ගැනීමට මෙන් ම, ශරීරයේ බර ප්‍රමාණය ද අඩු කර ගැනීමට පුළුවන. පලතුරුවල අඩංගු වී තිබෙන ඇන්ටිඔක්සයිඩ මඟින්සිරුරේ ගෙවී ගිය සෛල නැවත නිපදවයි.


අනෙකුත් ආහාරවලට සාපේක්ෂව පලතුරුවල අඩංගු වී ඇත්තේ අඩු කැලරි ප්‍රමාණයකි. එම නිසා, කොතරම් පලතුරු ප්‍රමාණයක් වුණත්, ආහාරයට ගත්තාට කිසිදු වරදක් නැත. එයින් ශරීරයේ බර ප්‍රමාණය ද වැඩි වන්නේ නැත. බටහිර වෛද්‍යවරුන් ප්‍රකාශ කරන අන්දමට, දිනකට දෙවරක්පලතුරු යුෂ පානය කිරීම, සිරුරට වඩාත් හිතකර ය. එමඟින් ස්ථුලතාව ද මඟහරවා ගත හැකි ය. බටහිර වෛද්‍ය පර්යේෂණවලින් සනාථ කර ඇති පරිදි, දිනපතා පලතුරු ආහාරයට ගැනීමෙන් පිළිකාව , දියවැඩියාව හා අධික රුධිර පීඩනය යනාදී ‍බෝ නොවන රෝග අවම කර ගත හැකි ය. බටහිර වෛද්‍යවරුන් පෙන්වා දෙන අන්දමට, පලතුරු ආහාරයට ගැනීමෙන් 7% කින් පමණ හදවත් රෝග අවම කර ගැනීමට පුළුවන. ඇපල්, මිදි හා බ්ලුබෙරි වැනි පලතුරු වර්ග ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනී ප්‍රමාණය ද පාලනය කර ගත හැකි ය.

සිට්ට්‍රස් වර්ගයට අයත් පලතුරු වර්ග ආහාරයට ගැනීමෙන්, වකුගඩු ආශ්‍රිත රෝග සහ මුත්‍රා ආසාදන තත්ත්ව වළක්වා ගැනීමට පුළුවන. බටහිර වෛද්‍යවරුන් තම විද්‍යාත්මක පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත්තේ, දවසකට පලතුරු වර්ග පහකින්, ග්රෑම් 80 බැගින්, පලතුරු ග්රෑම් 400ක් ආහාරයකට ගත යුතු බව ය. අමෙරිකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් පෙන්වා දී ඇත්තේ, සාමාන්‍ය පුද්ගලයකු දවසකට පලතුරු වර්ග දෙකක් ආහාරයට ගත යුතු බව ය. අමෙරිකාවේ හදවත් රෝග සංගමය මඟින් පෙන්වා දී ඇත්තේ, දවසකට පලතුරු වර්ග පහක් ආහාරය‍ට ගත යුතු බව ය.
උපුටා ගැනීමකි.(පුවත් පත් ඇසුරින්)
සැකසුම : විද්‍යා හා තාක්ෂණ නිළධාරි , ජා ඇල.

Monday, May 29, 2017

මොළයේ සංඥා වලින් පාලනය වන කෘතිම අතක්

මොළයෙන් හා මාංශපේෂී මගින් නිකුත්වන සංඥා වලින් පාලනය කළ හැකි කෘත‍්‍රිම අතක් නිපදවීමට මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සිසුහු තිදෙනෙක් සමත්වී සිටිති.
යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ අවසන් වසරේ ඉගෙනුම ලබන කාලිංග නිසල්, ජනක සුබෝධ සහ ඉසුරු රුහුණගේ මෙය නිපදවූහ. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිළිණ ලලිතරත්න සහ පශ්චාත් උපාධි අපේක්ෂක චාමික පෙරේරා යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම ඔස්සේ මෙම රොබෝ අත නිපදවා තිබේ.
විවිධ රෝගාබාධ, හදිසි අනතුරු සහ පශ්චාත් යුදමය වාතාවරණය නිසා අත් අහිමිවූවන් වැඩි ප‍්‍රතිශතයක් ශ්‍රී ලංකාව තුළ ජීවත්වේ. ඔවුන් අතරින් වැලමිටත් උරහිසත් අතරින් අත අහිමි අය වෙනුවෙන් කෘත‍්‍රිම අතක් නිපදවීම පර්යේෂකයන්ගේ උත්සාහය විය. ඔවුන් වෙනුවෙන් විවිධ වර්ගයේ කෘත‍්‍රිම අත් දක්නට ලැබෙන අතර ඒවා බොහෝමක් සක‍්‍රීය මට්ටමේ නොමැත.  එවැනි සක‍්‍රීය කෘත‍්‍රිම අතක් මිලෙන් ඉතා අධිකය.
ශ්‍රී ලංකාව වැනි රටකට එවැනි මිලෙන් අධික කෘත‍්‍රිම අත් භාවිත කිරීම අපහසු කටයුත්තක් විය හැක.  බොහෝමයක් සක‍්‍රීය අත් පාලනය කිරීමට මාංශපේෂීවලින් ලබාගන්නා සංඥා  (ඊඑම්.ජී. සංඥා) යොදාගෙන තිබේ. එහෙත් වැලමිටට ඉහළින් අතක් අහිමිවූ අයකුගේ සංඥා ලබාගත හැකි මාංශපේෂී සීමිත වේ. එවිට බොහෝවිට අතේ ඇඟිලි පාලනය කිරීමට අපහසුවේ.
ඊට විසඳුමක් ලෙස මෙම නිර්මාණකරුවන් විසින් මාංශපේෂී සංඥාවලට අමතරව මිනිස් මොළයෙන් ලබාගන්නා සංඥා යොදාගෙන වැඩි ක‍්‍රියාකාරකම් ප‍්‍රමාණයක් කළ හැකි සාමාන්‍ය අතකට සමාන කෘත‍්‍රිම අතක් නිපදවීමට පර්යේෂණ කණ්ඩායම සමත්විය.
මේ සම්බන්ධයෙන්  වැඩිදුර  විස්තර  කළ ආචාර්ය තිළිණ ලලිතරත්න මහතා මෙසේ පැවසීය.
‘‘මෙම කෘත‍්‍රිම අත නිර්මාණය කිරීමට පෙර  මොළයේ සංඥා සහ මාංශපේෂී සංඥා ලබාගන්නා අකාරය ගැන පිඹුරුපත් සකස්කරන්න වුණා. ඒ අනුව බාහිරින් පැළැඳිය හැකි මාංශපේෂීවල (ඊ.එම්.ජී.) සංඥා අත් කරගත හැකි පද්ධතියකින් සහ බාහිරව හිසට පළඳින සංවේදක පද්ධතියක් මාර්ගයෙන් මොළයේ සංඥා ඊ.ඊ.ජී. සංඥා ලෙස ලබාගැනීමට අපට හැකිවුණා. කෘත‍්‍රිම අතේ වැලමිටෙහි චලනයන් කෘත‍්‍රිම අත භාවිත කරන පුද්ලයාගේ ද්විශීර්ෂ සහ ත‍්‍රී ශීර්ෂ මාංශපේශීන්ගෙන් නිකුත්වන සංඥා මගින් ක‍්‍රියාත්මක වෙනවා. අතේ ඇඟිලි චලන සිදුවන්නේ මොළයෙන් ලබාගන්නා ඊ.ඊ.ජී. සංඥා මගිනුයි.
මෙහිදී (SSVEP) නැමැති විශේෂිත ක‍්‍රමවේදයක් පාදක කරගත්තා. මෙම ක‍්‍රමවේදයේදී සිදුවන්නේ කෘත‍්‍රිමව ඇති කරනු ලබන යම් කිසි සංඛ්‍යාතයකින් යුත් ආලෝක ප‍්‍රභව දෙස පියවි ඇසින් බලා සිටින විට එම සංඛ්‍යාතයට සමාන සංඛ්‍යාතයක් මිනිස් මොළය තුළින් ඊ.ඊ.ජී. සංඥා ලෙස නිකුත් වෙනවා. මෙමගින් එම ඊ.ඊ.ජී. සංඥා එකිනෙක වෙන්කර හඳුනා ගන්නා ගන්නා අතර අවසානයේ එම ප‍්‍රතිඵල අනුව අතෙහි ඇඟිලි ක‍්‍රියාකිරීමට අවශ්‍ය විධාන නිකුත් කිරීම මෙම කෘත‍්‍රිම අතෙන් කෙරෙනවා.
ඊට අමතරව ඇඟිලි සහිත මැණික් කටුවෙන් පහළ කොටස වෙනම කොටසක් ලෙස ගලවා වැලමිටට පහළින් අත අහිමිවු අයකුට වුවද භාවිත කරන්න පුළුවන්. එවැනි යොදාගැනීමකදී අතෙහි වැලමිටට යටින් ඉතිරිව පවතින කොටසේ මාංශපේෂීවලින් ඊ.එම්.ජී. සංඥා ලබාගෙන එදිනෙදා ජීවිතයට අවශ්‍ය පරිදි අතෙහි ඇඟිලිවල චලන සිදුකිරීමට හැකිවෙනවා.
මෙම ව්‍යාපෘතියේ මුල් අදියරේ ප‍්‍රතිඵල ලෝකයේ ප‍්‍රමුඛම ජාත්‍යන්තර ඉංජිනේරු හා වෛද්‍ය පර්යේෂණ සම්මන්ත‍්‍රණයක් වන දකුණු කොරියාවේදී පැවැත්වෙන IEEE EMBC 2017 සම්මන්ත‍්‍රණයේදී එළිදැක්වීමට තෝරාගෙන සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් යොදාගෙන මෙම උපකරණය මේ වන විටත් පරික්ෂා කර ඇති අයුරු පර්යේෂණය සිදුකළා. ඉදිරියේදී අබාධිත පුද්ගලයන් යොදගෙන සායනික පර්යේෂණ සිදුකිරීමට බලාපොරොත්තු වන බවද එහි  නිර්මාණකරුවෝ පවසති.
මෙය අනාගතයේදී නිෂ්පාදනයක් හැටියට හඳුන්වා දෙනු ලබන  අතර වෛද්‍ය ක්ෂේත‍්‍රය, වෙළෙඳ ක්ෂේත‍්‍රයේ ආයෝජකයන්ටත් තමන් හා එක්වෙන්න යැයි ආරාධනා නිර්මාණකරුවෝ කරති. මෙම ව්‍යාපෘතියේ වැඩි විස්තර uom.bmi.research@gmail.com විද්‍යුත් ලිපිනයෙන් හෝ මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව හරහා ලබාගත හැකිය.

මෙය නිර්මාණය කිරීමේදී මොරටුව විශ්වවිද්‍යාල උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධනනියෝජ්‍ය උපකුලපති මහාචාර්ය රාහුල අත්තලගේඉංජිනේරු පීඨාධිපති මහාචාර්ය කපිල පෙරේරාඅංශ ප‍්‍රධානී ආචාර්ය රුවන් ගෝපුරයාන්ත‍්‍රික කොටස් නිර්මාණයේදී සහාය වූ ඩයි ඇන්ඞ් මෝල්ඞ් ෆැසිලිටේෂන් ඇන්ඞ් ඩිවොලොප්මන්ට් ආයතනයේ අධ්‍යක්‍ෂ කථිකාචාර්ය ජනක මංගලතාක්ෂණ නිලධාරී ජනත් ප‍්‍රියංකර සහ එල්. පෙරේරා යන මහත්වරු ද සහය වී තිබේ.


උපුටා ගැනීමකි (පුවත්පත් ඇසුරින්)
සැකසුම : විද්‍යා හා තාක්ෂණ නිළධාරි, ජා ඇල